Home / ලිංගික අධ්‍යාපනය / මඳසරු භාවයට හේතු මොනවාද?

මඳසරු භාවයට හේතු මොනවාද?

2018-12-15 09:29:00       839
feature-top
මඳසරුභාවය ලෙස  හඳුන්වනු ලබන්නේ දරු ගැබක් බලාපොරොත්තුවෙන් වසරක පමණ කාලයක් බලා සිට එම අරමුණ ඉටු නොවූ අයයි.

එහිදී සතියකට දෙතුන් වතාවක්වත් සංසර්ගයේ යෙදී දරු ගැබක් හට නොගන්නා තත්ත්වයේදී 25% ක් පමණ පුරුෂයාගේ ගැටලූ බලපානු ලබයි. කාන්තාවකට බලපාන ප‍්‍රශ්න නිසා 45%ක්ද, මඳසරු භාවයේ ගැටලූවලට හේතු වෙයි. මෙහිදී 30% ක් පමණ අවස්ථාවලදී මිට බලපාන නිශ්චිත හේතුව කුමක්ද යන්න හඳුනා ගැනීම අසීරුය. කොතරම් පරීක්‍ෂණ කලද නිශ්චිත හේතුවක් ඊට සොයාගත නොහැකි විය හැකිය.

මදසරු භාවයට වැඩි අවදානමක් ඇත්තේ අවුරුදු තිස් පහට වැඩි කාන්තාවන්ය. තවද ආර්තවචක‍්‍රය අක‍්‍රමවත් වේ නම් (ආර්ථවය ක‍්‍රමවත්ව සිදු නොවේ නම්* එවැනි කාන්තාවන්ට ද මෙම අවදානම තිබේ. අධික ස්ථුල බවක් ඇති කාන්තාවන්ද මඳසරු භාවයේ ගැටලූවලට ලක්වීමට වැඩිපුර ඉඩ ඇති අයයි.

පිරිමින්ගේ මඳසරු භාවයට හේතුකාරක වන්නේ වෘෂණ කෝෂ ආශ‍්‍රිත රෝගවලට කලින් ගොදුරුව තිබීම හා වෘෂණ කෝෂ සම්බන්ධ හදිසි අනතුරු තත්ත්වයන්ට මුහුණ දී සිටීමයි.

හඳුනා ගැනීමේ පරීක්‍ෂණ
මඳසරු භාවයෙන් පෙළෙන යුවළක් ප‍්‍රතිකාර සඳහා යොමු වූ විට පුරුෂ ශුක‍්‍ර තරල පරීක්‍ෂණයක් කර ගැනීම කළ යුතුය. මෙම පරීක්‍ෂණය සඳහා පුරුෂයා පැය 72 ක පමණ කාලයක් ශුක‍්‍රාණු පිට කිරීමෙන් වැළකී සිට, ඉන් අනතුරුව එම තරලය ලබාගෙන ප‍්‍රමිතිගත පරික්‍ෂාවකට ලක් කරනු ලබයි.

කාන්තාවකගේ ඩිම්බ පිටවීම පිළිබඳ නිවැරදිව දැන ගැනීම සඳහා රුධිරයේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය පරීක්‍ෂා කිරීම සිදු කෙරේ. කාන්තාවකගේ මඳසරු බවට බලපාන ගැටලූ හඳුනා ගැනීම සඳහා සිදු කරනු ලබන තවත් වැදගත් පරීක්‍ෂාවක් වන්නේ අල්ට‍්‍රා සවුන්ඞ් ස්කෑන් පරීක්‍ෂාවයි. එමගින් ඩිම්බ මේරීමේ ක‍්‍රියාවලියේ හා ඩිම්බ පිටවීම ගැන නිගමනයට ඒමට හැකිය.  තවද කාන්තාවන්ගේ පැලෝපීය නාළවල අවහිරතාවන් හඳුනා ගැනීම සඳහා 5 ඨ එක්ස් රේ පරීක්‍ෂාවක් කළ හැකි ලැපරොස්කොපි පරීක්‍ෂාවද  මේ සඳහා වැදගත්ය.

පුරුෂයාගේ ශුක‍්‍රාණුවල සරු බව අඩුවීමට බලපානු කරුණු අතර දියවැඩියාව, කම්මුල්ගාය, ක්ෂයරෝගය වැනි රෝගවලින් පෙළීමද, මත්කුඩු, මත්පැන් හා දුම්පානයද, ඇතැම් ඖෂධ වර්ගද බලපානු ලැබේ.
milhan
කාන්තාවගේ වයස තිස්පහෙන් පසු ඩිම්බ නිෂ්පාදනයේ සරු ඩිම්බ නිෂ්පාදනයට ගැටලූ ඇතිවීමට ඉඩකඩ තිබේ. මෙය වයස හතළිහෙන් පසු සීඝ‍්‍ර අඩුවීමක් දක්නට ලැබෙයි. කාන්තාවගේ තයිරොයිඞ් ග‍්‍රන්ථිය ආශ‍්‍රිත ආබාධ, ක්ෂය රෝගය, නිදන්ගත අනෙකුත් රෝගාබාධ මෙයට බලපෑ හැකිය.

තවත් ගැටලූ
ශුක‍්‍රාණුවක් ඩිම්බයක් හා නියමිත එක්වීමකට හෙවත් සංසේචනයට බලපාන තවත් කාරණා වෙයි. ඒ අතර පුරුෂ ලිංගේන්ද්‍රියේ අප‍්‍රාණික බව හේතුවෙන් ශුක‍්‍ර තරලය පිට කිරීමේ අපහසුතා පැවතීම, ලිංගික එක්වීමේ අපහසුතා මෙන්ම සරු කාලය තුළ අඹුසැමි සබඳතා පැවැත්වීමට ඇති නොහැකියාව ආදී හේතුන්ද බලපානු ලබයි.

තවත් අවස්ථාවල කාන්තාවන්ගේ ගර්භාෂයේ හට ගැනෙන ෆ‍්‍රයිබ්‍රොයිඞ් තත්ත්වය නිසාද මෙම ගැටලූව ඇතිවීමට ඉඩ තිබේ. මඳසරු බවෙන් පෙළෙන කාන්තාවකට ඇගේ වයස සෘජු ලෙසම බලපාන අතර මෙවැනි තත්ත්වයට කල් නොයවා ප‍්‍රතිකාර ලබා ගැනීම වැදගත් වෙයි.

ප‍්‍රතිකාර
මේ සඳහා රෝග ඉතිහාසය නිවැරදිව විනිශ්චය කිරීමෙන් ඖෂධ ප‍්‍රතිකාර වලින් තොරවම යථා තත්ත්වයට පත් කළ හැකි අවස්ථා තිබේ. ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවීම අවශ්‍යය. මෙහිදී මූලික ප‍්‍රතිකාරවලින් සාර්ථක ප‍්‍රතිඵල නොලැබුණහොත් විශේෂ ප‍්‍රතිකාර ලබාදෙනු ලබයි. එහිදී ඊට බලපාන හේතුව නිශ්චිතව හඳුනාගෙන අවශ්‍ය ප‍්‍රතිකාර ලබාදීමට පියවර ගැනෙන අතර කාන්තාවගේ ඩිම්බ මෝචනයේ ගැටලූ පවතී නම් එය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා ඩිම්බ මෝචනයට සුදුසු ඖෂධ නිර්දේශ කරනු ලැබේ.

ආර්තව චක‍්‍රයේ 12 වැනි හා 14 වැනි දිනවල ඩිම්බ මෝචනය සිදුවන බැවින් එම දිනවල සංසර්ගයේ යෙදීම සඳහා මෙහිදී උපදෙස් ලබා දෙනු ලැබේ. මින් පසුවද ප‍්‍රතිඵලයක් නොලැබෙන්නේ නම් අන්තර් ගර්භාෂිත ශුක‍්‍රාණු තැන්පතුව (IUI) සිදුකර ගත හැකිය. එහිදී සිදුවන්නේ පුරුෂයාගෙන් ලබාගන්නා ශුක‍්‍රාණු උපකරණ මගින් කාන්තාවගේ ගර්භාෂයේ තැන්පත් කිරීමයි. මෙම ක‍්‍රමය දරුවකු පිළිසිඳ ගැනීමේ සම්භාවිතාව ඉහළ දමන අතර පැලෝපීය නාලවල අවහිරතා ඇත්නම් එය ඉවත් කිරීම සඳහා ලැපරොස්කොපි ශල්‍යකර්මය සිදුකරනු ඇත.

මෙම ප‍්‍රතිකාරවලින්ද ප‍්‍රතිඵල නොලැබෙන විට නළ දරු තාක්ෂණයෙන් (IVF) වැනි ආධාරිත ප‍්‍රජනන ක‍්‍රම ඒ සඳහා අනුගමනය කළ හැකිය. කෙසේ වුවත් ඒ සඳහා අධික මුදලක් දරන්නට සිදුවේ. මඳසරු බව නිසා ගැටලූකාරී බවක් ඇතැයි දැනගත් ඉක්මනින් අවශ්‍ය ප‍්‍රතිකාර කරා යෑම මගින් කල් නොයවා අවශ්‍ය ප‍්‍රතිකර්ම ලබා දරු සුරතල් බැලීමට අවස්ථා තිබේ. ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමුවීම ඉතා වැදගත් කරුණකි.

(under the courtesy of hirutv.lk blog web)

More News »